මැද පෙරදිග දායාදය

“ඇඟට හොඳටම අමාරුයි අද නං .... කෝච්චියයි බස් එකයි.... ඊටත් වැඩිය හවස් වෙනකොට ඔපිසර නිලමෙත් එනවානේ”

අම්මා මෙහෙම කිව්වේ හැතැක්මක් දිව්වෙක් වගේ මහංසි මුහුනක් පෙන්නලා. ඔපිසර නිලමෙගෙ පැමිනීම අම්මලාට සාමාන්යෙන් වැඩි කරදරයක් නොවුනත් දවස් කීපයක් කොළඹ ගතකරලා ගෙදර ආපු වෙලාවේ අම්මා පොඩි විවේකයක් බලාපොරෝත්තුවෙන් ඉන්න ඇත්තේ.

තාත්තට වැඩි ගනනක් නෑ වගේ.

“මොනවද ඉතින් තියෙන එකක් කෑමට දීලා පොඩි අඩියක් දීපුවම ඉවරයි!”

“එහෙම බෑ… මොනවත් හොඳට ලෑස්තිකරන්න ඕනෑ… ඒක ප්රශ්නයක් නෙවෙයි හැබැයි කලින්ම නිදාගන්න හම්බවෙන්නෙ නෑ…”

“මට වැඩි මහංසියක් නෑ… ඔයා ඉසේ කැක්කුමක්වත් කියලා ශේප් වෙන්න - මම කයිවාරුවට ඉන්නවානේ…. උපුලුත් ඉඳී”

“ඔවු ඉතින් පුතාට නිලමෙගෙ කතා හොඳටම අල්ලනවානේ!”

අම්මා කියන්නේ ඇත්ත. කොයි තරම් පිස්සෙක් වගේ හැසිරුනත්, පිස්සෙක් වගේ දෙඩෙව්වත්, ඔපිසර නිලමෙගේ කතා බොහොම ගැඹුරුයි - එක්කෝ ඇත්තටම ගැඹුරුයි නැත්තනම් ගැඹුරු වගේ පෙනෙන්න ඔප දාපු බොරු කතා. මොක උනත් අහගෙන ඉන්න වටිනවා.

………………………

“අපරාදේ සෙනරත් මට කිව්වෙ නැත්තේ අද තමා කොළඹින් ආවේ කියලා. ඔය ගමනේ මහංසිය පිට මං මෙතන ඇවිත් කරදර කරනවා - මම දන්නවානම් අද කෙලින්ම ගෙදර යනවානේ…”

ඔපිසර නිලමේ මෙහෙම කිව්වේ රෑ කෑමෙන් පස්සේ තාත්තත් මාත් එක්ක ඉස්තෝප්පුවේ වාඩි වෙලා. අම්මා කෑමෙන් පස්සේ එලියට ආවෙ නැතුව කෙලින්ම නිදාගන්න ගියා.

“ඕක මොන කරදරයක්ද? අමිතට නම් ටිකක් මහංසියි. නමුත් ඔපිසර නිලමේ නුවර ඇවිල්ලා අපෙ ගෙදර නෑවිත් ගියානම් ආයෙ එයාගෙන් බේරෙන්න හම්බවෙන්නෙ නෑ!”

“උඹලා මට සලකනවා හොඳ වැඩියි!”

තාත්තට හිනා ගියා.

“අමිතගෙ නෑදයෙක් කියලා වෙන කවුද මෙහෙ එන්නේ? අනික අපි සේරම කැමයිතියි ඔපිසර නිලමෙගෙ මොලේ දුවන හැටියට - විශේෂයෙන්ම උපුල්”

ඔපිසර නිලමේ හිනා වෙලා මගෙ මුහුන බැලුවේ.

“මං කියන සේරම විස්වාස කරන්න එපා උපුල් - අපි වයසට යනකොට දොඩවනවා. සෙනරත් මොකොද හදිස්සියේ කොළඹ?”

“නෑ අපිත් එක්ක වැඩ කරපු මිනිහෙක් පිටරට යනවට පාටියක්”

“දැන් කාලේ පිටරට යනකොට සමහරු ගෙදර අයටවත් කියන්නෙ නෑ කියලා මම හිතුවේ. ඒ තරමට කට්ටිය රට යනවා; ඉස්සර වගේ නෙවෙයි”

“හසන්ගෙ පවුලේ ඉස්සරවෙලාම රට යන්නේ මිනිහා.මාත් එක්ක ඉස්කෝලේ ගියේ හෝඩියේ ඉඳන්. අපි දෙන්නා ඒ පවුලේ ඔක්කම හොඳට දන්නවා - හොඳ මිනිස්සු”

“කොහාටද ගියේ? අ… යන්නේ?”

“ඩුබායි… යන්නේ අනිද්දා. හොඳ මැනේජර් කෙනෙක් - එහෙ බැංකුවක තමා වැඩ කරන්න යන්නේ. මාර සල්ලි!”

ඔපිසර නිලමෙගෙ හිතට මේක කාවැදුන බවක් පෙනුනෙ නෑ.

“සල්ලි විතරක් නෙවෙයි - පවුල එහෙමත් යනවද…. මිනිහා බැඳලද?”

“හසන් බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා - පොඩි එකා උපුල්ගෙ වයස. යන්නේ තනියම; මාස කීපෙකින් අනික් අයත් ගෙන්නාගනයි අදහස. හසනුයි හම්සියයි දෙන්නම අරාබි බාසාවත් දන්නවා. හම්සියා ගුරුවරියක් නිසා එහෙ රස්සාවක් කතා කරගෙනයි යන්න අදහස”

“අනේ මංදා…. දරුවෝ බරුවොත් එක්ක ඔය රටවල් වලට යන එක….”

මට හිතුනේ මේ ඔපිසර නිලමෙගෙ සාමාන්ය කතාව වගේ නෙවෙයි. ඒ නිසාමයි මට ප්රශ්නයක් අහන්න හිතුනේ.

“ඇයි ඔපිසර නිලමේ? ඒ රටවල් මුස්ලිම් නිසාද එහෙ යනවට කැමති නැත්තේ?”

ඔපිසර නිලමේ මා දිහා බලාගෙන හිටියා විනාඩියක් විතර මොකවත් කියන්න ඉස්සර.

“රටකට යන්න හොඳද නරකද කියලා තක්සේරු කරනනේ එහෙ රටවැසියන්ගෙ ආගමෙන් නෙවෙයි. උපුල් දන්නවා ම්ලේච්ඡයන් ඉඳන් සාන්තුවරයෝ දක්වා මිනිස්සු හැම රටකම ඉන්නවා කියලා, උන් මොන ආගමක් අදහනවා කිව්වත්….”

තාත්තට මේක මාර ඉඩ ප්රශ්තාවක් ලංකාවේ නායකයන්ට අනින්න.

“එහෙනං ඇයි අපි කෑගහන්නේ ‘මේක බෞද්ධ රටක්’ කියලා - හරියට එතකොට අපි සුදනෝ වෙනවා වගේ?”

තාත්තගෙ කතාවත් එහෙම කීමට හේතුවත් ඔපිසර නිලමෙට තේරෙනවා - පොඩි හිනාවක් ආවේ ඒ නිසයි.

“සෙනරත් දන්නවා නේ …. අපෙ අයියලා ඕන එකක් කියයි සුදනෝ වෙන්න … හැබැයි හිතන්න එපා ඒක අපේ රටේ විතරක් වෙන දෙයක් කියලා. හැම රටේම ඔය වැඩේ වෙනවා - එක එක මට්ටමට. අපි හිතන්නේ අපෙ උන් තමා නරකම කියලා. එහෙම අපි කියන්නේ අපි හොඳින්ම දන්නේ ලංකාවේ වෙන දේ නිසා. ඉන්දියාවේ එක ඡන්ද කොට්ඨාසයකවත් වෙන දේ මම දන්නෙ නෑ - එක ඡන්ද කොට්ඨාසයක නමක් වත් දන්නෙ නෑ. මේ දැනුමේ අඩුපාඩුව නිසා අපි හිතනවා අපෙ පොරවල් තමා නරකම කියලා. ඒක වැරදියි මං හිතන්නේ”

මටත් යමක් කියන්න හිතුනා ඒ වෙලාවේ.

“එතකොට ඒකාධිපතියෝ? අඩුගානේ අපිට පුළුවන් ඡන්දෙන් ඉන්න ආන්ඩුව පරද්දලා අළුත් එකක් පත් කරන්න. ඉඩි අමින්ලා, ඩුවාලියේලා අපෙ අයට වඩා නරක නැද්ද?”

“හොඳ වෙලාවට ඒ දෙන්නා දැන් නෑ …. නමුත් උපුල්ගෙ අදහස හරි - ඒ දෙන්නයි, ඒ වගේ අනික් අයයි අපෙ නායකයන්ට වඩා නරකයි. ඒකෙන් පෙනෙන්නේ හොඳ/නරක මට්ටම රටවල්වල මායිම් වලින් නවතින්නෙ නෑ කියලා. මුළු ලෝකෙම ගත්තොත් ම්ලේච්ඡයන් ඉඳන් සාන්තුවරයෝ දක්වා මිනිස්සු මුළු ලෝකෙම ඉන්නවා…. ඔය රටවල්වල මායිම් මිනිස්සු සිතියම්වල ඇඳගත්ත ඉරි මිසක් ඒවගෙන් මිනිස් ගතිගුන මායිම් නෙවෙයි”

තාත්තයි මමයි මේක ගැන ටිකක් හිතුවා ආයෙත් මොකවත් කියන්න ඉස්සර. මට හිතුනේ තාත්තා ඇත්තටම ඔපිසර නිලමෙගෙ මතය ගැන හිතලා බලනවා යමක් කියන්න ඉස්සර. මම කතා නොකර හිටියේ ගොං කතාවක් කියලා මෝඩකම පෙන්නන්න අකැමති නිසයි. හොඳ වෙලාවට තාත්තා ප්රශ්නයක් ඇහුවා.

“ඔපිසර නිලමේ කියන්නේ රටවල් මායිම් වැදගත් නෑ කියලද? ඒ කියන්නේ ආන්ඩු, හමුදා එහෙම නැති ‘ලෝක අච්චාරුවක්’ද ඕන?”

“මට ඕන දේ බොහොමයි සෙනරත් - අච්චාරු ඇතත් නැතත්…. ලංකාව වගේ රටවල් වලට ලේසියි - වටේටම මුහුද, තව රටක් එක්ක ගොඩබිමින් මායිමක් නෑ. නමුත් අපි ඉන්දියාවට කිට්ටු නෑකම් තියෙනවා. අපෙ භාෂාව, ආගම, සිරිත් විරිත් - මේවා බොහොමයක් ඉන්දීය. නමුත් අපි ඉන්දියානුවෝ නෙවෙයි; වෙනම රටක්, වෙනම ආන්ඩුවක්, මුහුදෙන් වෙන්වෙලා. එහෙම තියෙද්දිත් ලංකාව ඇතුලෙම කොයි තරම් කරදර තිබුනද/තියෙනවද ජාති, ආගම් භේද අල්ලාගෙන?”

ඔපිසර නිලමේ ටිකකට නිහඬවුනාට කතාව ඉවර නැතිබව තාතටයි මටයි තේරුනා.

“ඔය සෙනරත්ගෙ යාළුවා … හසන්?... ඔවු…. මිනිහා යන්නේ මැද පෙරදිගට. ඩුබායි කියන්නේ අරාබි රටවල් ගොන්නකින් එකක් - වැඩිය කරදර නැති රටක්. නමුත් ඒ පලාතේ හුඟක් තැන්වල ප්රශ්න - ඉරාකය, ඉරානය, සිරියාව, කුවේටය, යේමනය … මේවගෙ කොයි තරම් යුද්ධ තිබුනද පසුගිය අවුරුදු තිහ හතලිහේ…. ඒ කියන්නේ අපේ ජීවිත කාලේ. එක ආගම, එක මිනිස්සු රටවල්වල මායිම් කොහෙ තිබුනත්…. ඒ මායිම් ලකුණුකළේ කවුද? කොහොමද? මොන තාර්කිකය පාවිච්චි කරලද? මේවා ගැනත් හිතලා බලන්න වටිනවා යුද ගැටුම් තේරුම් ගන්න”

ආයෙත් තාත්තා යමක් කියනකම් මම සද්ද නැතුව හිටියා.

“සේරම මුස්ලිම් වුනාට ඒ ආගමේම ‘ශියා’ කට්ටියයි ‘සුන්නි’ කට්ටියයි නේ යුද්ධ කරන්නේ? අනික බ්රිතාන්යයි ප්රන්සෙයි රටවල්වල මායිම් අඳිනකොට, 1916 නේද?, මිනිස් ගෝත්ර එහෙමත් බලලළු සිතියම්වල ඉරි ඇන්ඳේ …. එහෙමයි කියන්නේ… තව එකක් - යුද්ධ පටන්ගත්තේ ඊට හුඟක් පස්සේ නේද? හැට ගනන් වලද කොහෙද…”

“ඇත්ත…. ඒ අංතිමට කියපු එක වැදගත්. දැන් තියෙන වර්ගයේ යුද්ධ පටන්ගත්තේ ලඟදී…. ඇයි දන්නවද? මම හිතන්නේ තෙල් තමා සේරටම වග කියන්න ඕන! සිතියම්වල ඉරි ඇඳලා, රටවල් වලට නම් දීලා, ආන්ඩු හදලා … හ්ම්?... ටිකක් කල් යනකොට මේ අළුත් රටවල්වල මිනිස්සු හිතනවා ‘ඇයි අපෙ තෙල් වලින් බටහිර රටවල් වැඩියෙන් ලාබ ගන්නේ?’ කියලා. දේශානුරාග, ‘අපෙ දේ අපේ’, වගේ හැඟීම් එනකොට ලාබ ගන්න අයට ටිකක් බයයි - ‘අපේ ආර්ථිකය රඳා පවතින්නේ ලාබ තෙල් උඩ’ කියලා හිතෙනවා. ‘ඔක්කම තෙල් තියෙන රටවල් එක්වුනොත් අපි ඉවරයි!’. ඔය මං කියන විදිහටම නෙවෙයි වෙන්න ඇති මේවා සිද්දවුනේ… නමුත් ඉතා බලවත්, ඇත්තටම ලෝකය පාලනය කළ යුදමය රටවල් වලට පොඩි හාල්මැස්සෝ වගේ රටවල් වලින් තර්ජනයක් තිබුනොත් වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න අමාරු නෑ!”

“ඔපිසර නිලමේ කියන්නේ ලාබෙට තෙල් ගන්න එංගලන්තෙයි ඇමෙරිකාවයි ප්රන්සෙයි එහෙම එකතුවෙලා මැද පෙරදිගේ යුද්ධ පටන් ගත්තා කියලද?”

“අපෝ ඒ තරම්ම අශෝභන විදිහට ඒ අය වැඩ කරන්නෙ නෑ…. කරන්න ඕනත් නෑ…. කොස් ඇට බාගන්න ඕන තරම් බළල්ලු ඉන්නවා… එක ජනවාර්ගික කොටසක්, ආගමික කොටසක්, හමේ පාට අනුව කොටසක් …. ඕන කොටසක් අල්ලලා ඒ කොටසට ආධාර දෙනවා මුදලින්, ආයුධ වලින්, රහස් තොරතුරු වලින්… තවත් ඕනනම් ඒ කොටසේ හොඳ - ප්රජාතන්ත්රයට ගරු කිරීම, මානව අයිතිවාසිකම් රැකීම - වගේ දේ ප්රසිද්ධ කරනවා මාද්ය මගින්…. එහෙම කරලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. වැඩි කාලයක් යන්නෙ නෑ ගැටුම් පටන්ගන්න - ඉස් ඉස්සරවෙලා සුළු වශයෙන්, ටික කාලෙකින් ලොකු යුද්ධ! සමහරවිට රූකඩ නටවන්නා ලෝකෙට ඇහෙන්න යුද වදින කොටස් ඔක්කටම කියනවා ‘ජනතාව වෙනුවෙන් ගැටුම් නවත්වන්න’ කියලා…. එක්සත් ජාතීන්ගේ සංගමේ කතා පවත්වනවා…. තේරෙනවා නේද වැඩේ වෙන හැටි…. අපිත් ගොන් වගේ පැත්තක් අල්ලාගෙන ‘ජයවේවා!/භංගවේවා!’ කියනවා. මොකා යුද්ධ කෙරුවත් අංතිමට දිනන්නේ කවුද කියලා අපි දන්නවා…”

ඔපිසර නිලමේ ලඟ තිබුන වීදුරුවෙන් වතුර බිව්වේ කතාවෙන් මහන්සිවූවෙක් වගේ.

“ඔපිසර නිලමේ ලෝකේ දිහා බලන්නේ අවඥා විදිහට. හැම යුද්ධෙම පටන්ගත්තේ තෙල් නිසා නෙවෙයි - සමහර යුද්ධ අවංක උදාර හේතු නිසා පටන්ගත්තේ!”

ඔපිසර නිලමේ හිනාවුනා.

“හැම යුද්ධෙම අවංකයි, උදාරයි - යුද්ධ මෙහෙයවන අය කියන විදිහට. කිසිම දිනයක, ලෝකේ කොහෙවත් හමුදා නායකයෙක් කියලා නෑ ‘මේ යුද්ධේ නම් සතුරු සේනාව තමා හරි - අපි කරන්නේ වැරදි වැඩක්!’ කියලා!”

“ඒ කියනේ සාධාරණ යුද්ධ කියලා දෙයක් නැද්ද?”

“සාධාරණ කියන වචනේ තේරුම අනුව - ඒ කියන්නේ තමංගෙ ජීවිතේ බේරාගන්න, පවුලේ අය ආරක්ශා කරන්න, ආගම රැකගන්න, රට පාවා නොදෙන්න, දේපල එකතුකරගන්න, ආර්ථික දියුනුවට, පරන තරහට…. සමහරු මේ සේරම සාධාරණයි කියලා හිතනවා - අනික් අය ඒකට විරුද්ධ වුනත්….”

“තමාගෙයි පවුලේ අයගෙයි ජීවිත බේරගන්න එක අපෙ අයිතිවාසිකම නෙවෙයිද? ඒ කියන්නේ ඒක සාධාරණයි නේද?”

“කවුරුහරි තක්කඩියෙක් එයාගෙ ජීවිතේ බේරගන්න තරහකාරයෝ තුන්දෙනෙකුට වෙඩි තියන එක සාධාරණද? මං කියන්නේ උපුල්, ඔය පත්තර වලයි රේඩියෝ එකෙයි ටීවී එකෙයි කියන හැම දෙයක්ම ඔළුවට ගන්න එපා ඒ ගැන ගැඹුරට නොහිතා. හිතලා බලන්න ලඟදී ගැටුම් තියෙන රටවල් ගැන ලියවෙන/කියවෙන දේ.”

“… ලඟම එක වෙනිසුවේලාවේ… සිරියාවේ…. යේමනයේ…”

“වෙනිසුවේලාව ලේසියි - ලෝකේ ලොකුම තෙල් නිදි එහෙ. බටහිර රටවල් වලට හිතවත් ආන්ඩුවක් හදාගන්න විතරයි එහෙ ඕන. සිරියාවයි යේමනයයි ටිකක් වෙනස් - ඒවගෙත් තෙල් තියෙනවා නමුත් ඒවගෙ යුද්ධ කරන්නේ බටහිරට හිතවත්, බටහිරෙන් ආධාර ලබන අය…. මතකද ඉරාකි යුද්ධේ? සදාම් හුසේන් සමග කීදෙනෙක් මලාද? ඇමෙරිකාවයි මිත්රපක්ෂයි යුද්ධෙට ගියේ ‘සදාම් නරක මිනිහා - මුලු ලෝකෙටම තර්ජනයක්’ කියලා. යුද්ධෙන් ‘පස්සේ’ ඒ කලාපයම යුද පිටියක්. ත්රස්තවාදී කන්ඩායම් කීයක් ඒකෙන් පටන්ගත්තද? ඇල් කයීඩා, අයිසිස්, ඩේශ් වගේ ත්රස්තවාදියෝ ඉරාකෙයි සිරියාවෙයි එහෙම විතරක් නෙවෙයි මුළු ලෝකෙම බෝම්බ පුපුරවනවා. හැබැයි එකක් - දැන් ඉරාකේ තෙල් බටහිර රටවල් වලින් පාලනය වෙන්නේ - ඒ කියන්නේ කරන්න ආපු වැඩේ කෙරුනා!”

“රුසියාව, චීනේ වගේ රටවලුත් එහෙම කරනවා නේද? බටහිර රටවල් විතරක් නෙවෙයි නේද එහෙම දේ කරන්නේ?”

“හරියටම හරි! උන් සේරම එකයි! උපුල් පුතා මතක තියාගන්න හැම එකාම කරන්නේ තමංගෙ බඩ වඩාගන්න එක තමා!”

තාත්තටත් ටිකක් නිදිමත වගේ. ඒ නිසා වෙන්න ඇති මේ ගැඹුරු දර්ශනය ආයෙත් වෙරල පැත්තට ඇද්දේ.

“ඇයි හසන්ලා ඩුබායි යන එක ගැන ඔපිසර නිලමෙගෙ හිතට හරි නැත්තේ?”

“නෑ සෙනරත් - ඩුබායි වල ප්රශ්නයක් නෑ දැනට. නමුත් මට ඔය මැද පෙරදිග රටවල් ගැන විශ්වාස නෑ කොච්චර කාලයක් කරදර නැතුව තියෙයිද කියලා. දැන් ඒ කලාපේ කොටස් දෙක තුනකට බෙදිලා … ඒ කියන්නේ පොඩි ගිනි පුපුරක් ඇති කලාපෙම ගිනිගොඩක් කරන්න… සමහරුන්ට න්යශ්ටික අවිත් තියෙනවා; ඇමෙරිකාව රුසියාව එහෙම විරුද්ධ පැති වල ඉන්නේ. ඒ අස්සේ චීනේ මොනවා කරයිද? එතකොට ඉන්දියාව?”

ඔපිසර නිලමේ හෙමින් පුටුවෙන් නැගිට්ටා, නිදාගන්න යන්න වගේ. ආයෙත් තාත්තා දිහා බැළුවා කාමරේ දොර ලඟ ඉඳන්.

“මට බය සෙනරත්ගෙ යාළු හසන් ගැනම නෙවෙයි ….. මට ඉවසන්න බැරි - මගෙ පපුව ඇවිළෙන්නේ - උපුල් වගේ අපෙ දරු මුනුබුරන්ට මොන වගේ නැහැදිච්ච, කුණු ලෝකයක්ද අපි දෑවැද්දට දෙන්නේ කියලා හිතෙන කොටයි”